අප්පච්චි

 


එදත් අද වගේම ලස්සනට  ඉර පායලා තිබුණා...අද තමයි එයා ස්කෝලෙ යන මුල්ම දවස..හීනෙන් වගේ මටත් ඇහුණා අම්මයි,අප්පච්චියි කතා වෙනවා.ලස්සනට රැළි දාලා තිබුණ පුංචිම පුංචි ගවුම් පොඩ්ඩ,සුදුම සුදු පාට සපත්තු දෙක දාගෙන කණ්නාඩිය ඉස්සරහට ගිහින් වටයක් කැරකිලා හැඩ බැලුවෙ ඇත්තටම මං හරි ලස්සනයි ද කියලා.        

අද ඔයා හරි ලස්සනයිනෙ මැණික..එහෙම කියලා අප්පච්චි එදා මාව තුරුලට අරන් සිපගත්තා ...මේම ලියද්දි අදටත් ඒ උණුහුම ඒ  විදියටම මට දැනෙනවා..

ඔන්න එදා තමයි මම ස්කෝලෙ යන මුල්ම දවස.හැමදේම වගේ අලුත්.සපත්තු දාපු නිසා මගේ කකුල් හිරකරලා වගේ නුහුරු බවක් මට දැනුනා..සමහර වෙලාවට මේ පුංචි කකුල් පෙරලෙනවා..

ඇයි අම්මා..මේ බඩ මැදින් පටියකුත් ගැටගහන්නෙ..එදා ඔය විදියෙ එක එක ප්‍රශ්න ඉතින් ..

අද වගේ මට මතකයි.

මං අප්පච්චිගෙ වම් අතේ එල්ලිලා ස්කෝලෙට යද්දි,කොණ්ඩෙ ලස්සනට පීරලා,සුදට සුදේ ලස්සන ඇදුම් ඇදල,සපත්තු මේස් දාල,පොත් බෑග් කරේ දාගෙන ලස්සන මං වගේ පුංචි ළමයි ගොඩක් එතන හිටියා...මගේ හිතට සතුටක් වගේම පුංචිම පුංචි බයකුත් දැනුණා.ඒත් මං අප්පච්චිගෙ මූණ දිහා බැලුවා එයත් පොඩ්ඩක් හිනාවුනා...මං බයේ ඉන්නෙ කියලත් එදා අප්පච්චි ට හිතෙන්නැති ... මගේ ඉස්සරහින් ,පිටිපස්සෙන් ළමයි ගොඩයි.

මේ දේවල් ටිකක් නුහුරු නිසාම බෑග් එකේ පටියකුත් කරෙන් පහළට වැට්ලා.

තාමත් මං අප්පච්චිගෙ අතින් අල්ලගෙන....

අන්න ....ඊලගට කියන්නෙ ඔයාගෙ නම.දැන් ඔයා යන්න ඕන.ඒම කියල අප්පච්චි මාව ටීචට බාර දීලා..මාව පුටුවක වාඩි කරලා මගෙන් ටිකක් ඈතට ගියා.....

එදා මට කියාගන්න බැරි දුකක් දැනුණා .හරියට නිකන් පපුව හිරකරනව වගේ.මාව තනිවෙලා වගෙත් දැනුනා.

මං දැක්කා ඈත ඉදන් අප්පච්චි මං දිහා බලන් ඉන්නවා.සමහරු අඩනවත් ඇහුණා..එයාල අඩද්දි මටත් දුකයි.දවස් දෙක තුනක් යද්දී මට යාළුවො ගොඩයි....

මෙන්න මේ විදියට මං සමාජෙ මිනිස්සු ඇසුරු කරන්න පටන් ගත්තා .අපි ටිකෙන් ටික ලොකුවෙද්දි ආශ්‍රය කරන්න වුනේ එක එක විදියෙ මිනිස්සු .

මාත් දැන් ටිකක් ලොකුයි...අප්පච්චි දැන් ටිකක් වයසයි..අප්පච්චි හැමදාම කිව්වෙ මිනිස්සු ආශ්‍රය කරද්දි පරිස්සමෙන් කියලා....

උදේ පාන්දර නැගිටලා,රෑ එළි වෙනකම් මහපොළොව එක්ක පොරබදින්නෙ අපිව උස් මහත් කරන්න.අදටත් මං කොහේහරි ගිහින් එනකන් මග බලන් ඉන්නෙ ,මගින් මගට හොයලා බලන්නෙ, ඇයි අද මෙච්චර රෑ උනේ කියලා ටිකක් සැර උනත්,,ඒ හැමදේම කරන්නෙ අපේ  පරිස්සම ගැන හිතන නිසා..

අද පන්තියට මෙච්චර ගානක් ඕන කිව්වම සාක්කුවෙන් අතට ගන්නෙ ගෙදර වියදමටත් එක්ක තියන අන්තිම සල්ලි ටික වෙන්න පුළුවන්..

ඒත් වචනයක්වත් නොකියා ඒ මුදල දෙන්නෙ අපි ඉගනගෙන දවසක හොද තැනකට එයි කියන බලාපොරොත්තුවෙන්.

අප්පච්චි ඕනම ප්‍රශ්නෙකදි නිහඬ  චරිතයක් .එහෙම හිතල බලලා දෙන තීරණෙත් හොදම තීරණය වෙන්න පුලුවන් .සමහරු මේ නිහඬ  චරිතය ඇතුලෙ ඉන්න ආදරණීය මනුස්සය හොයන්නෙ අහම්බෙන් ජීවිතය ට හමුවෙන අයගෙන්. එදා එහෙම ගත්ත තීරණ නිසා අද දුක්විදින ගොඩක් අය ඉන්නවත් ඇති..

ඉපදුණු දවසෙම අතට ගත්ත ඒ පුංචිපැටියා කවදාහරි  හොද තැනක ඉන්න ඕන කියන බලාපොරොත්තුව හැම පියෙක්ගෙම සිහිනයක්.ලේ කිරි කරන්න බැරි උනත් ඒ හිතේ අදටත් තියෙන්නෙ තමන්ගෙ දරුවන්ට පුදුම ආදරයක්..

ඉතින් ඒ ආදරණීය චරිතයට දවසක සාදාරණයක් කරන්න වග බලා ගන්න.

බලන්න ඒ අත් දිහා..අපේ වගේ සියුමැලි ද කියලා .ගොඩක් වෙලාවට ඒ අත්වල තියෙන්නෙ කරගැට විතරයි .අදටත් ඒ අත්වලින් පෙන්නන්නෙ උඔලා උස් මහත් කරන්න ගත්ත වෙහෙස මහන්සිය...ඒ නිසා ඒ හිත වචනෙකින්වත් නොරිද්දන්න වග බලාගන්න...

දවසක ඒ හිත් වල තියන අහිංසක හීන හැබෑ කරන්න උත්සාහ කරන්න....හීන හීන වලට යන්න බැරි උනත් පොළොවෙ පය ගහලා සමාජෙත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න .

සමහර විට ඒ ආදරණීය චරිතයට අපිට දෙන්න පුළුවන් උපරිම සාදාරණයත් ඒක  වෙන්න පුලුවන් .......

- මලී

No comments:

Post a Comment

අප්පච්චි

  එදත් අද වගේම ලස්සනට  ඉර පායලා තිබුණා...අද තමයි එයා ස්කෝලෙ යන මුල්ම දවස..හීනෙන් වගේ මටත් ඇහුණා අම්මයි,අප්පච්චියි කතා වෙනවා.ලස්සනට රැළි දාලා...